Thursday, September 29, 2011

පොඩි කාලේ කියවපු පොත් සෙට් එකක්.....

ඔන්න සාහිත්‍ය මාසයත් ඉවර වේගන යන නිසා පිස්සු පූසට හිතුනා ඉස්සර ඒ කියන්නේ අපි පුංචි කාලේ කියවපු පොත් සෙට් එකක් ගැන ලියන්න.මේකට අදහස ආවේ මුහුදු කොල්ලකාරයාගේ දිනපොතේ මෙන්න මේ ලිපිය දැකලා.පරණ මතකයන් එලියට ඇද්ද ඒ සහෝදරයාට මගේ ස්තූතිය.


මම මුලින්ම කියවන්න කතා පොතක් ගෙනත් දුන්නේ අපේ අම්මා.ඒ පොතේ නම නම් මතක නැහැ.තිබ්බේ අලි පොල්ගෙඩි සයිස් අකුරුවලින් ලියපු චිත්‍ර තියෙන ලස්සන පොතක්.මට මතක විදියට ඒ 3 වසරේද කොහෙද.


මම වැඩියෙන්ම පොත් කියවන්න ගත්තේ 4 වසරේ විතර.ඒ කියවපු පොත් ඔක්කොම වගේ මට මතක නැහැ.ඒත් සමහර ඒවා මතකයි.
මම ඉස්සර ටී.බී.ඉලංගරත්න ගතුවරයාගේ අඹ යාලුවෝ පොතට මාර ආසයි.මම හිතන්නේ නැහැ මේ පොත කියවපු නැති කෙනෙක් ඇති කියලා.ඒක මම කී සැරයක් පට්ට ගැහුවද කියලා මතකයක් නැහැ.ඒක ඒතරමටම පට්ට ගැහුවා.සුදු අප්පෝ(සුනිල්) නිමල්ට අඹයක් බෙදා ගන්න ගිහින් ගහගෙන පස්සේ යාලුවෝ වෙන හැටි මට දැනුත් මැවිලා පේනවා.තිලක,තිලක හා තිලකා පොතුත් මම පොඩි කාලේ ආසාවෙන් කියෙව්වා.


ඒ වගේම මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ මඩොල්දූව.මට මේකේ හිටපු චරිත වලින් මතක උපාලි,ජින්නා විතරයි.මම මේකේ ආසම කෑල්ල අර මේ යාලුවෝ සෙට් එක කජු කඩන්න ගිහින් වත්තේ අයිති කාරයට මාට්‍ටු වෙන එක.
ඒ වගේම අපේ ගම පොතත් මම පට්ට ගැහුවා.ඒ පොතේ ගැමි ජීවිතය ගැන නියමෙට විස්තර කෙරෙනවා.ඒ පොත කියවන කොට අපිත් මාර්ටින් වික්‍රමසිංහසූරීන්ගේ ගමේ ඉන්නවා වගේ. ගම්පෙරලිය ඔයාලා කාටත් මතක ඇති.මේ පොතත් මම පට්ට ගැහුවා.තව මාටින් වික්‍රමසිංහයන්ගේ බද්දෙගම,පව්කාරයාට ගල් ගැසීම,උපන්දා සිට පොතුත් මම පොඩි කාලේ ආසාවෙන් කියෙව්වා.
මට අද වගේ මතකයි හත්පන කතා පොත.මේ කුමාරතුංග මුනිදාසයන්ගේ අතින් ලියවුනු ලස්සන පොතක්.කිරිහාමි තමා මේකේ ප්‍රධාන චරිතය.ඒ වගේම එම ශූරීන්ගේ හීන් සැරය.මේකේ කතාව නම් මතක නැහැ.
අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා බස්තියන්ගේ සොහොන.මේ කතාවේ මට මතක විදියට බස්තියන්ව මරලා සොහොනක කෙලින් අතට හිටවලා සොහොන් කොතක් හදලා තියෙන්නේ.ඒක මෙයාලා හොයා ගන්නේ ඒ සොහොන ඉස්කුරුප්පු නියනකින් හිල් කරලා එන කුනු ගදෙන්.(වැරදි නම් හරි ගස්සන්න යාලුවනේ)
තව මං ආසාවෙන් කියවපු පොතක් තමයි පාලු දූපත.ලමයි පැහැරගෙන කරවල වාඩි වලට ගෙනත් ඒ දූපතක් පොලීසියෙන් වටලද්දී ලමයි දෙන්නෙක් විතරක් ඉතුරු වෙනවා.මෙයාලා ඒ දූපතෙන් බේරිලා යනකන් වෙන දේවල් තමා කතාවේ තියෙන්නේ.
දොන් පීටර් පියතුමාගේ වනගත ලමෝ මම ආසාවෙන් කියවපු පොතක්.තව සෝමපුර වීරයෝ,කලන්දූවේ මුතු කොල්ලය,තුන් යහලු වික්‍රමය,නෙල්ලිකැලේ වීරයෝ,ගැට කපන ලමයා....ඊ.ටී.සී.මේවා ඔක්කොම මම කියවලා තියෙනවා.මේවගෙන් සමහරක් මම ගාව තිබ්බා ඒත් ඒවා දැන් කොහෙද කියලා මතකයක් නැහැ.


අපි ඊලගට පරිවර්තන වලට එමු.මම ආසාවෙන් කියවපු පොතක් තමා එච්.රයිඩර් හැගාර්ඩ් ගේ ඇලන් ක්වාටමෙන්ගේ වීර චාරිකා.මේකේ පොත් දෙකක් ආවා කියලා මට මතකයි.මම ඒ පොත් දෙකම කියෙව්වා.තව සොලමන් රජුගේ දියමන්ති ආකර කියන පොතත් මම පට්ට ගැහුවා.
ඊලගට මම ආසම කරන සර් ආතර් කොනල් ඩොයිල් මහත්මයාගේ ෂර්ලොක් හෝම්ස්.මේකේ සර් ආතර් කොනල් ඩොයිල් මහත්මයා ලියපු ෂර්ලොක් හෝම්ස් පරීක්ෂන කතා 60ම(කෙටි කතා 56,දිග කතා 4) මම අති විශිෂ්ට විදියට ලියලා තියෙනවා.දැන් චන්දන මෙන්ඩිස් ලියන ඒවත් ඒතරම්ම වරදක් නැහැ.මම මේවා අදටත් පිස්සුවෙන් වගේ කියවනවා.මේවයින් පොත් ටිකක් මම එකතු කරගෙන තියෙනවා.ඒ වගේම පරන ටීවි සීරිස් ටිකත්(ෂර්ලොක් හෝම්ස්) මම ගාව තියෙනවා.මේ මම ගාව තියෙන පොත් ටික.
අදටත් කියවන්න පොඩි වෙලාවක් හම්බුනත් කියවන්නේ ෂර්ලොක් හෝම්ස් පොත් තමා.තව පරිවර්තන වලින් මම කියවපු ලෝකය වටේ අසූ දවසකින්,සැගවුනු ලොවේ සවාරියක්,ජුරාසික් දඩයම,සුදු ගෝණා,සුදු වැද්දා,ටාර්සන්...ඊ.ටී.සී.ආදර නවකතා වලින් මම කියෙව්වේ චාතූර්යා 1 හා 2 විතරයි.මට ඒවා අල්ලලා ගියේ නැහැ.අනේ මන්දා ඒ මොකද කියලා.ඒවා මහ බොලදයි වගේ හිතුනු නිසාද දන්නේ නැහැ.තව රුසියානු සාහිත්‍ය පොඩ්ඩක් විතර අතගාලා තියෙනවා.ඒත් ඒ මොනවද කියලා නම් මතකෙට එන්නේ නැහැ.

තව පට්ට ගහපු පොත් නම් ගොඩක් ඇති මම.ඒත් ඒවා මතකෙට එන්නේ නැහැ.මම 8 වසරේ දී අපේ ඉස්කෝලේ පුස්තකාලේ වසරේ පාඨකයා සම්මානය දිනා ගත්තා.ඒ මම ඒ අවුරුද්දේ පොත් 380කට වඩා කියවලා තිබුනු නිසා.ඒ කාලේ නම් පුදුම පිස්සුවක් තිබ්බේ පොත් කියවන්න.යාලුවොත් එක්ක බෙදා හදා ගෙන තමා ගොඩක් පොත් කියෙව්වේ.ඒ කාලේ පොත් ගන්න වත්කමක් නැහැනේ.උපන්දිනේට අම්ම පොතක් අනිවාර්යෙන් ගෙනත් දෙනවා.හිතුවට වඩා පෝස්ට් එක දිග වැඩි උනාද මන්දා.මම මෙතනින් නවතින්නම්.ඔයාලා කියවලා තියෙන පොත් තියෙනවනම් කියන්න.

Saturday, September 24, 2011

මම වෙනස් කෙනෙක්.....




මම වෙනස් කෙනෙක්.....
අඳින විදියෙන්.....
කන බොන විදියෙන්.....
ඉන්න විදියෙන්....
ඔව්...මම වෙනස් උබට වඩා....
ඒත්...
ඇත්තටම අපි වෙනස්ද...?
මොනව කෑවත්....
දිරවන්නෙ එකම විදියට නම්...
මොනව ඇන්ඳත්....
වහගන්නෙ එකම දෙය නම්...
මොන විදියට හිටියත්....
වෙලාව ආවම හැම දේම අතෑරල යන්න වෙනවනම්.....
කල හොඳ නරක විතරක් අරගෙන...
අපි වෙනස් වෙන්නෙ මොනවයින්ද...?
හිතන විදියෙන් නේද...?

ඔහේ ඉන්නවා...



කාලෙකින් පරණ යාලුවෙක්...
මචං ඉතින් කොහොමද ජීවිතේ..??
ඔහේ ඉන්නවා..මගේ උත්තරේ..


කල්පනා කරා...කල්පනා කරා
මට මොකද වෙලා තියෙන්නේ..??
ජීවිතේ ගැන වගකීමක් නැතුවද??
ඉලක්කයක් නැතුවද..??
ඇහුවා මගෙන්ම..
හිතේ නම් තියෙනවා..ඒත්...
අනේ මන්දා..හිතත් හරි අපැහැදිලියි...
හෙටත් කවුරු හරි....අහවි මගෙන්....


ඉතින් කොහොමද ජිවිතේ..??
ඔහේ ඉන්නවා ඒකමද උත්තරේ....

Friday, September 23, 2011

අපි නොදන්න කුරුදු



මේ සිද්දිය උනේ මම ඕ ලෙවල් කරන කාලේ.මම ගනන් විද්‍යාවට ක්ලාස් ගිය ආයතනයෙන් ට්‍රිප් එකක් යන්න ලෑස්ති උනා.ට්‍රිප් එක ගියේ මඩොල් දූව,මාටින් විකමසිංහ කෞතුකාගරය,ගාලු කො‍ටුව,හික්කඩුව,මාදු ගග කියන තැන් බලන්න.


ඉතින් ට්‍රිප් එකේ මුලින්ම අපි ගියේ මඩොල් දූව බලන්න.මඩොල් දූව කියන්නේ පොඩි දූපතක්.ඉතින් ඔය දූපතට ගිහින් එකේ පොඩ්ඩක් ඇවිදලා ආපහු එන අතරේ මාත් එක්ක ඉන්න එකෙක් මටයි අපි සෙට් එකටයි කුරුදු ගහක් පෙන්නලා කියනවා


"අඩෝ උබලා දන්නවද මේ තියෙන්නේ කුරුදු ගහක්.මේවා තමයි කෑම රහ වෙන්න දාන්නේ."


බුවා කොහොමත් ලොකු පම්පෝරි කාරයෙක්.කට විතරයි වැඩ නැහැ.බුවා කරපු වැඩ ගැන නම් පොතක් උනත් ලියන්න පුලුවන්.ඉතින් අපේ සෙට් එකේ උන් මීට කලින් කුරුදු ගහක් දැකලා නැති නිසා
"අඩෝ ඇත්තද බන් ඉතින් කොහොමද බන් මේවා අර තැබිලි පාටට එන්න හදන්නේ..?"


මූ වැඩර් වගේ කියනවා"මේවගේ පොතු ඇරලා වේලලා තමා ගන්නේ.මේවගේ පොතුත් හරි රහයි.නිකන් උනත් කන්න පුලුවන්.තව ඉස්සර කාලේ මිනිස්සු බුරුසු වලින් නෙමේ දත් මැද්දේ මෙන්න මේ කුරුදු ඉති වලින් හදා ගත්තු බුරුසු වලින්.දත් වල කහට යවන්න මරු භාන්ඩේ"

මූ කුරුදු ගහේ ඉත්තක් කඩලා මගේ පැත්තට දික්කරලා "කාලා බලපන්කෝ කොහොමද රහ කියලා"කිව්වා.


මාත් ඉතින් කුරුදු ගැන දැන ගත්තත් මූත් එක්ක කතා කරලා වැඩක් නැති නිසා ඉත්ත අරන් කෑවා.මොකද මූ එතන කෙල්ලෝ ඉස්සරහ වීරයෙක් වගේ මාදු ගග ගැන එහෙම විස්තර කියනවා,කුරුදු ගැන කියනවා.එක විකාරයයි.


කොහොම හරි අපි ඔය ඔක්කෝම තැන් බලලා ආයේ කොලබ එන්න ගාල්ලෙන් පිටත් වෙනකොට වෙලාව 6.30ට විතර ඇති.මම ආයතනයේ ලොකු සර්ට කියලා තිබ්බේ යන ගමන් අපේ ගෙදරත් ගිහින් තේ බීලා එහෙම යමු කියලා.සරුත් හා කිව්වා.අපේ පැත්තට ඇවිත් තේ උගුරක් වත් බීලා සලකලා යැව්වේ නැත්තම් ඒක හරි නැහැ නේ.


හොදම සීන් එක කියන්නේ ඒ කාලේ අපේ වත්තේ කුරුදු තලන කාලේ.අපේ ගෙදර තමා වත්තෙන් කපලා ගේන කුරුදු ටික පොතු ඇරලා,වේලලා මිටි බදින්නේ.මම ඉතින් පොඩි කාලේ ඉදන් දන්න දෙයක් තමා කුරුදු තැලීම.පොඩි කාලේ තාත්තා අපේ කුරුදු වත්තට එක්කන් යනවා මට තාම මතකයි.මටයි මල්ලිටයි එක පුදුම අත්දැකීමක්.මොකද කුරුදු ඉඩමේ ඇවිදිනකොට නිකන් කැලයක ඇවිදිනවා වගේ.ඒ තරමට වත්ත ලොකුයි.


හරි ආයෙත් කතාවට.අපේ ගෙදරට බස් එක එනකොට වෙලාව 7.30ට ඇති.මම අර කලින් කිව්ව බුවා කෙල්ලෝ ඉන්න නිසා වීරයා වගේ මේ පැත්ත විස්තර කර කර ඉන්නවා.ඉතින් මාත් එක්ක අපේ යාලුවෝ අපේ ගෙදර වත්ත පල්ලෙහාට ආවා.එතකොට එක බුවෙක්


"අඩෝ අර කුරුදු නේද බන් මිටි ගහලා තියෙන්නේ..??"


අරුත් හෙමීට ඉස්සිලා බැලුවා.මම අරූ දිහා බලාගෙන"ඔව් බන් මේ කුරුදු තමා.මේවා කපලා ගෙනල්ලා පොතු ඇරලා වේලෙන්න දාන්නේ මෙහෙමයි"කියලා මම අපේ උන්ට පෙන්නුවා.


ඊට පස්සේ අරූ කොහේ අතුරුදහන් උනාද මන්දා.අපි කොලඹ එන අතරේ බුවා මට වැඩිය මූන දුන්නෙත් නැහැ..

Thursday, September 22, 2011

අහිංසක දර කපන්නා



මේක ඔයාල සමහර විට අහලත් ඇති.මේක මට මේල් එකකින් ආපු එකක්.අතීත කතාව රීමික්ස් කරලා ගත්තු එකක් මේක.


අතීත කතාව


දර කපන්නෙක් කැලයට යන අතරතුර පාලමක් හම්බ උනාලු.ඉතින් මේ දර කපන්නා මේ පාලම පහුකරනකොට තමන්ගේ පොරව ගගට වැ‍ටුනා.දර කපන්නා ගග අයිනට වී අඩ අඩ ඉන්නකොට ඒ අසලින් මතු උන රුක් දෙවියෙක් මේ දර කපන්නගේ දුක දැක පොරව සොයා දෙන්නම් යැයි පවසා මුලින්ම රන් පොරවක් පෙන්නවා මෙය  ඔබේ දැයි අව්සූ විට එය තම පොරව නොවේ යැයි කියූ පසු දෙවියන් තවත් රිදී පොරවක් පෙන්නවීය.එයද නොවේ යැයි දර කපන්නා පැවසූ විට දෙවියන් යකඩ පොරවක් දර කපන්නා වෙත පෙන්වන ලදී.මෙවිට එය තමාගේ යැයි කියා ලබා ගත් දර කපන්නා ගැන පැහැදුන දෙවියන් දර කපන්නාට පොරෝ තුනම තෑගි කොට යන්නට ගියේය.



නූතන කතාව


කාලෙකට පසුව දර කපන්නා නැවතත් තම බිරිද සමග පෙර කී ගංගාවම තරනය කරනකොට සිය බිරිද ගගට වැ‍ටුනේය.පෙර පරිදිම ගග අයිනට වූ දර කපන්නා තම බිරිද සොයා දෙන ලෙස කියමින් අඩන්නට විය.පෙර ලෙසම රුක් දෙවියා මතු වී දර කපන්නා හට තම බිරිද සොයා දෙන්නට ඉදිරිපත් විය.මෙවරද පලවෙනි පාරට ලෝකයේ ලස්සනම කාන්තාව ‍රැගෙන පැමිනි රුක් දෙවියා දර කපන්නගෙන් මෙසේ ඇසුවේය.


"මෙයාද වයිෆ්..??"


මෙවර වහා ඉදිරියට පැමිනි දර කපන්නා "ඔව් ඔව්" කියා පිලිතුරු දෙමින් ලස්සන කාන්තාව ලබා ගැනීමට ඉදිරිපත් විය.දර කපන්නනේ මෙම ක්‍රියාවෙන් මහත් කලකිරුනු රුක් දෙවියා මහත් සේ පසු තැවෙමින් මෙසේ ඇසීය


"දැන් ඔයත් හැමෝම වගේ බොරු කියන්න පටන් අරන්..ඇයි එහෙම බොරුවක් කිව්වේ..??"


"අනේ රුක් දෙවියනි මට සමාවන්න..මම අහිතක් හිතලා එහෙම කිව්වා නෙමෙයි...ඔබ වහන්සේ ගිය පාර මම ඇත්ත කියපු නිසා පොරෝ 3නක්ම දුන්න මතකද..??මම බය උනේ ගිය පාර පොරෝ වගේ මේ පාර ගෑනු 3න් දෙනෙක්ම කර ගහ ගන්න වෙයි කියලා..අනේ දෙයියනේ මේ එක ගෑනිව මැනේජ් කර ගන්න බැරිව ඉන්න මම එහෙම සාධාරණ බොරුවක් කියන එක වැරදිද..??"


පලි :මේක අපි පොඩි කාලේ ආදර්ශමත් කතාවක් විදියට අහලා තිබුනේ.මම මේක දැම්මේ එයට අගෞරව කිරීමට නොව හිනා වෙන්න විතරයි.(අපහාසයට නොව උපහාසයට පමනි)

ළමා කාලය



මට අද උදේ සදරුවාගේ සරුංගලේ පෝස්ට් එකෙන් මට පුංචි කාලය ගැන මතක් උනා.ඉතින් මම හිතුවා ඒ ටික ඔයාලත් එක්ක බෙදා ගන්න.සුන්දර දකුණු පලාතේ අහුංගල්ල කියන ගම තමා මගේ ගම(අර සත්තු වත්තක් එහෙම තිබ්බේ.).ඉතින් මම පොඩි කාලේ ඒ කියන්නේ ශිෂ්‍යත්වය පාස් වෙලා කොලඹට එන්න කලින් ගමේ අම්මා තාත්තා මල්ලිලා දෙන්නා එක්ක තමයි හිටියේ.මම ඉස්කෝලේ ගියේ කලුතර අම්මත් එක්ක.අම්ම එතකොට වැඩ කරේ නාගොඩ.උදේ පාන්දර නැගිටලා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා අම්මත් එක්ක මම කෝච්චියේ තමයි කලුතරට එන්නේ.


හැම දාම අපි නගින්නේ සමුද්‍රදේවි එකේ 11 වෙනි පෙට්ටියට.ඒකේ තමා අපේ අම්මගේ ඔ‍ෆිස් එකේ යාලුවෝ ඉන්නේ.ඒ කාලේ එක එක කෝච්චි පෙට්ටි එක එක අය වෙන් කර ගෙන හිටියේ.ඒ කියන්නේ අපිත් එක්ක හැම දාම යන අංකල්ලා ඇන්ටිලා හැමදාමත් නැග්ගේ 11වෙනි පෙට්ටියට.ගොඩාක් අය ගාල්ලෙන්ම නගින නිසා ඒ පෙට්ටිය හැමදාමත් අපිටම වෙන් වෙලා තිබ්බා.



ඉතින් උදේ 7.45 වෙනකොට(ඒ කාලේ ඉස්කොලේ පටන් ගත්තේ 8ට නේ)මම ඉස්කෝලෙට යනවා.ඉතින් ඉස්කෝලේ යාලුවොත් එක්ක පිස්සු නටලා ඉස්කෝලේ ඇරිලා යන්නේ නැන්දලාගේ ගෙදර.නැන්දලා ඉන්නේ අපේ ඉස්කෝලේ පේන දුර වගේ.ඉතින් මට අම්මා ඔ‍ෆිස් ඇරෙනකන් එහෙ තමා ඉන්න වෙන්නේ.කලුතර නැන්දා හදන කරවල බැදුම තරම් රස එකක් මම අද වෙනතුරුත් කාලා නැහැ.ඒ රස මට අදටත් මතකයි.දවල්ට මම නැන්දලාගේ ගෙදරින් කාලා හවස අම්මා එනකන් බලාගෙන ඉන්නවා ගෙදර යන්න.


ඒ දවස් වල මෙලෝ රහක් නැහැ.මොකද මම සරනාගතයෙක් වගේ නේ.මොකාද එකාවගේ නැන්දලෑ ගෙදරට වෙලා පාරේ වාහන ගනන් කර කර ඉන්නවා අම්ම එනකන්.ඉතින් අම්ම හවස වැඩ ඉවර වෙලා එන්නේ 5ට.ඉතින් මම ආයෙත් ගෙදර යන්න ලෑස්ති වෙලා අම්මත් එක්ක ආයෙත් කලුතර ස්ටේසමට යනවා 5.45ට තියෙන සමුද්‍රදේවී එක අල්ල ගන්න.ඉතින් හැමදාම ගෙදර යනකොට 7 විතර වෙනවා.මොනවා කරන්නද හොදට කාලා නිදා ගන්නවා ගෙදර වැඩ වත් නොකර.ඒ කාලේ මට කෝච්චි තියෙන වෙලාවල්,කලුතර ඉදන් අහුංගල්ලට තියන ස්ටේසන් වල නම් ඇස් වහගෙන උනත් කියන්න පුලුවන්.ඒ මම අවුරුදු 6ක්ම කෝච්චියේ එහාටයි මෙහාටයි ගිය නිසා.සතියේ දවස් 5 ඔන්න ඔහොම තමයි ගෙවෙන්නේ.


මම හැමදාම සිකුරාදාට ගෙදර එන්නේ හරිම සතුටින්.ඒ දවස් දෙක විතරනේ මට නිදහසේ සෙල්ලම් කරන්න තියෙන්නේ.ඒ දවස් දෙක මම උපරිමෙන්ම ගෙවනවා.ගෙදරින් උදේට කාලා ගියාට පස්සේ කොල්ලොත් එක්ක අපේ වත්තේ බෝල් ගහන්න,මාදු ගගේ නාන්න,මුහුදේ නාන්න,සම්බෝල කඩන්න ඔය වගේ සෙල්ලම් වලට තමා කාලය ගත කරන්නේ.


ඒ දවස් වල අපේ ගෙදරට තමා යාලුවෝ බෝල් ගහන්න එන්නේ.අපේ වත්තේ ටිකක් ඉඩ තියෙනවා.ඒ කාලේ ඉතින් පොඩියිනේ.හැමදාම සෙල්ලම් කරනකොට වලි.රන් අවුට් වලට තමා ගොඩක් වලි යන්නේ.හිකිස්.අපේ වත්තේ අපි සෙලම් කරන තැන දෙපැත්තේම තියෙන්නේ පොල් ගස්.ඉතින් මේ දවස් දෙකට අඩුම ගානේ බෝල්4ක් වත් පොල් ගස් වල හිර වෙනවා.ආයෙත් ඒවා ගන්න හම්බෙන්නේ වත්තේ පොල් මුරේ දවසට තමා.එදාට ඉතින් ටෙනිස් බෝල් කොම්පැනිය වගේ අපේ ගෙදර.


ඉතින් මම ශිෂ්‍යත්වය පාස් වෙලා කොලඹ ආවට පස්සේ ගමේ යන්න හම්බුනේ නිවාඩුවකට විතරයි.ඒ උනත් ඒ නිවාඩු කාලෙත් උපරිමෙන්ම ගෙවනවා.අගෝස්තු නිවාඩුවට ගමට ආවම ඒ මාසෙම කරන්නේ සරුංගල් අරින එකයි.අපි සරුංගල් අරින්න යන්නේ මුහුදට.කිසි අමාරුවක් නැතුව සරුංගලේට අතේ තියන් නූල් දෙන්න පුලුවන්.ඉතින් සරුන්ගලේ ඩොට් වෙන්න ඇරලා පන්දුව වැල්ලේ වලක් හාරලා වලලලා අපි සෙට් එක කරන්නේ මුහුදේ නාන එකයි.


පොඩි උනත් අපි මුහුදේ නාන පොට් එකට ගමේ කට්ටිය කියන්නේ තො‍ටුපල කියලා.එතන ගල් වලින් වට වෙච්ච පොඩි පූල් එකක් වගේ නිසා.එතන බාල මහලු වැඩිහිටි ඕනම කෙනෙක්ට බය නැතුව නාන්න පුලුවන්.මුලු මාසෙම ඔහොම සරුංගල් ඇරලා නිවාඩුව ඉවර වෙලා ආපහු කොලඹ යන්නේ මාරම දුකකින්.ඒ ආයෙත් එන්න හම්බෙන්නේ දෙසැම්බර් නිවාඩුවට නිසා.


ආයෙත් දෙසැම්බර් නිවාඩුවට ගමට ආවම අපි සෙට් එක එකතු වෙලා බෝල් ගහනවා,ජිල් ගහනවා.ඒ මාසේ වැඩි හරියක්ම කරන්නේ මාදු ගග පැත්තේ යන එකයි.ඒ කාලෙට කිරල ගස්වල කිරල පිරිලා ඉතිරිලා තියෙනවා.අප්‍රියෙල් කාලෙටත් එහෙමයි.ඒ කාලෙට කජු පුහුලන් කන එකයි කජු එකතු කරලා පුච්චන් කන එකයි තමා කරන්නේ.අපේ ගමේ හැම අප්‍රියෙල් මාසෙකම විවාහක අවිවාහක ක්‍රිකට් මැච් එකක් දැනට අවුරුදු 20ක විතර ඉදන් ගහගෙන එනවා.ඉතින් ඉස්සර පොඩි එකා නිසා සෙල්ලම් කරන්න හම්බෙන්නේ නැහැ.තාත්තා සෙල්ලම් කරන හැටි බලන් ඉන්නවා.මම මුලින්ම ඒ මැච් එකට සෙලම් කරේ 10 වසරෙදී.ඒ අවුරුද්දේ හොදම පන්දු රකින්නා උනේ මම.


වෙසක් මාසෙට ගෙදර ගියාම අපි බයිසිකල් වල නැගලා දන්සැල් වන්දනාවේ යනවා.අහුංගල්ලේ ඉදලා අම්බලන්ගොඩටත් අම්බලන්ගොඩ ඉදලා ආයෙත් අහුංගල්ලටත් මග දිගට තියෙන  දන්සැල් ඔක්කොම දෙයියනේ කියලා වදිනවා.බත් දන්සැල් වලට යන්නේ අඩුවෙන්.හැබැයි බීම දන්සැල් වලින් බීම බෝතල් වලත් දාගෙන ගෙදර අරන් එනවා.




ඔන්න ඔහොම මගේ පොඩි කාලේ ගෙවිලා ගියා.ආයෙත් ඒ කාලේට යන්න තිබ්බනම් කියලා මට හිතෙනවා.අද වෙනකොට පොඩි කාලේ කරපු වැඩ කරන්න තියා ගමේ යන්නවත් වෙලාවක් නෑ.අපි කොලඹ ගෙයක් අරන් පදිංචි උන නිසා එහේ ගෙදර යැවෙන්නේ අවුරුද්දකට 2පාරක් වගේ තමා.ඒ ගිහිනුත් දවස් දෙක තුනක් වත් ඉන්නේ නැහැ.


දැනුත් මාදු ගගේ,මුහුදේ නාන්න.වත්තේ කොල්ලොත් එක්ක බෝල් ගහන්න ආසයි.ඒත් කාලය විසින් හැමදේම වෙනස් කරලා තියෙන නිසා අපිට ඒ මතකේ හිතේ තියාගෙන ජීවත් වෙලා තියෙනවා.


මගේ සුන්දර දකුණු පලාත මතකයෙන් නොමැකී යන තරම් අත්දැකීම් බහුලය.....

Wednesday, September 21, 2011

පුංචි ආදර කතාවක්


ඉස්කෝලේ යන කාලේ අපේ හිත් හරිම අහිංසකයි.ඒ කාලේදී ආදරේ කරන එක වැ‍රැද්දක්ද??මට නම් ඒක තේරෙන්නේ නැහැ.මම දන්නේ එකම දෙයයි.ජීවිත කාලේ පුරාවටම හිත කුළුදුලේම පෙම් කරපු පාසැල් ජීවිතේ ආදරේ,කිසිදාක අමතක කරන්න බෑ.ඒ ඒ ලෝකේ ඒතරම්ම සුන්දරයි,අහිංසකයි,බොලදයි..,රත්තරං හීනයක් වගේ හැමදාමත් හිත ඇතුලේ හැංගිලා සුවද දෙනවා.අපේ හිත් වල කුහක කම් නෑ.හිත පිරෙන්නේ ආදරෙන් විතරයි.ඒ මුල්ම ආදරේ හින්දා.ඒ කුළුදුල් ආදරේ අමතක කරගන්න බැරිව,මුලු ජීවිත කාලේ පුරාම තනිවන,දුක් විදින,හිතේ කදුලු පුරවාගත්තු කී දෙනෙක් නම් ඉන්නවද???මට මෙන්න මෙහෙම පුංචි කතාවක් හම්බුනා.මේක ඇත්තද බොරුද දන්නේ නැහැ.ඒත් මේකෙන් ගන්න දෙයක් තියෙන නිසා ඔයාලට දෙන්න මම හිතුවා.හරි එහෙනම් මෙන්න ඒ කතාව.


කාලයක් හිතින් කෙල්ලෙක්ට ආදරේ කරපු කොල්ලෙක් දවසක් ඒ කෙල්ලට ආදරේ ප්‍රකාශ කරනවා....


සංජය :"කුසුම් මම ඔයට මේක ගොඩක් කාලෙක ඉදන් කියන්න හිටියේ.මම ඔයට ආදරෙයි කුසුම්....."


කෙල්ල දෙපාරක් නොහිතම කැමති නෑ කියලා කියනවා.
ඒත් කොල්ලගෙ දුකක් පේන්න නෑ.
කොල්ලගෙ යාලුවෙක් අහනවා


"මචන් මෙච්චර දෙයක් වෙලත් උඹට දුකක් නැද්ද...?උබ සිරාවටම ඒ කෙල්ලට ආදරේ කලා නේද..?" කියලා.


කොල්ල කියනවා "ඔව් බන් මට දුකක් නෑ. සතුටුයි."


"ඒ ඇයි මචන්...?"


කොල්ලා කියනවා"මට ආදරේ නොකරන කෙනෙක් මගෙ ජීවිතෙන් ඈත් උනා"
"ඒත් එයාට හදවතින්ම ආදරේ කරපු කෙනෙක් එයා නැති කරගත්තා...."


පලි :මෙන්න මෙහෙමයි අපි ඉන්න ඕනා.මොකද ලැබෙන්නේ නැති ආදරයක් වෙනුවෙන් හඩා වැලපෙන එක බොරු දෙයක් කියලයි මට හිතෙන්නේ.මුහුදෙ ඉන්නෙ එක මාලුව උනාට,මුහුදු යන්නේ මම විතරක් නෙමේ උනාට ඉස්සරහ ගැන හිතලා අපි හොදට අපේ වැඩ කර ගත්තොත් අනාගතයේ අපේ ජීවිතේ සාර්තක වේවි.....